නිදහස්ව යනතුරා
මගේ හද ගීතයට
තනුව වූ නුඹම යළි
මගේ නෙතු කඳුළුවල උණුසුමත් වෙලා..
කවියක් වගේම හැඩට
ලියාගෙන ආ ජීවිතය,
ආයෙමත් අතරමග නැවතිලා තනිවෙලා..
කදෝපැණියෙකු ලෙසින්
ජීවිතය බදාගෙන
වේදනා වින්ද සිත,
මරණයට ගී ගයන රැහැයි හඬ මැද තනිව
මග බලා ඉන්නවා..
නිදහස්ව යනතුරා මේ කයින් ඉක්මනට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට ඇත්නම්
එකම එක වාරයක්
නිල් තුරු සළුව යටින් නිදහසේ පියනගන්නට ඇත්නම්..
තරු වියනක් යට සඳ සේළයට ගුළි වී
සැතපෙන්න ඇත්නම්…
පියාපත් යුග විදා එකම එක වාරයක් විසල් නුඹ ගැබ පුරා
පියාඹා යන්න ඇත්නම්..
මහවාළුකාවේ දිය පොදක් වී
මේ මහපොළොව සිඹ්න්නට ඇත්නම්..
මහා ගිරිකුළු මුදුනකට නැග
මේ ළොවට කොයි තරම් ආදරේදැයි කෑ ගසා කියන්නට මට ඇත්නම්….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ අහපන් යාළුවා
මේ අහපන් යාළුවා..
උඹ දන්නවා හොඳටම උඹ කවුද කියලා..
උඹට පයින් ගහලා බිමදාපු උන්ගෙ කකුලුත් හපාගෙන
නැගිටපන් ආයිමත්;
සටන් කරපන්..
ජීවිතය යුද්දයක්..
අනිත් හැමෝම දිනද්දි
උඹට විතරක් පරදින්ඩ බැහැ..
කඩාවැටෙන්න එපා..
කෙළින් තියාගනින් ඔළුව
බලාපන් ලෝකය දිහා..
අපි මේ දුවන රේස් එකේ..
උඹේ දුක අහලා කඳුළු බෙදා ගන්න
කවුරුවත් නවතින්නේ නැහැ..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
වස්සානය නැත තවම ඇවිදින්
වස්සානය නැත තවම ඇවිදින්,
පොළෝ තළයම වියළි කතරකි
මගේ පුංචි පළඟැට්ටෝ..
එන්න එපා තවම පිටට, සැඟවී නුඹ සිටින තැනින්..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~